Monday, July 20, 2020

මිලිටරි ෆැන්ටසියක රියැලිටිය - ගිනි ගිනි මාලේ


මිලිටරි ෆැන්ටසියක රියැලිටිය -
ගිනි ගිනි මාලේ

නලීන් එන් කාරියවසම්


නිර්මාණයක් බොහෝ විට නිශ්චිත මොහොතක් පාදක කර ගැනීම හෝ ඉඟිකිරීම හෝ සිදු කරයි. වේදිකා නාට්ය ශානරයට එය අත්යන්තයෙන් අදාළ ය. එහෙත් නිර්මාණය තුළ වන රූපකමය මානය විසින් එකී නිර්මාණයට යාවත්කාලීන අගයක් ආරෝපණය කරනු ලබයි. වසඟයේ දේශපාලනයේ සියුම් බව, භයංකර බව හා අධිපතිවාදීබව ලාංකේය මොහොත හා සමපාත කරමින් සංකථනීය අවකාශයක් වෙත මුදාහරින නාට්යමය අත්දැකීමකි, සුදත් අබේසිරිවර්ධනගේ “ගිනි ගිනි මාලේ” වේදිකා නාට්යය. මේ එම නාට්යමය පඨිතය පිළිබඳ කියැවීමකි.
ගිනි ගිනි මාලේ යන නාමකරණයෙන් උපදින නොස්ටැල්ජියානු හැඟීමත් සමඟ ප්රේක්ෂකයකු ලෙස අසුන්ගන්නා අපට තිර හැර ඇති වේදිකාව විසින් ලබා දෙනු ලබන්නේ ෆැන්ටසිමය හැඟීමකි. වර්ණවත් මල් සහිත එම අලංකරණාත්මක පසුතල නිර්මාණය ළමා ප්රසංගයක ඇඟවුමක් අප වෙත ප්රදානය කරයි. එම ඇඟවුම පිළිබඳ ඉක්මන් තීරණයක් නො ගෙන සිටීමේ වැදගත්කම මතුවන්නේ නාට්යයේ ආරම්භයත් සමඟ ය. එම ෆැන්ටසිමය ඇඟවුම තේමාත්මක පොහොසත් බව ගොඩනැගීමෙහිලා සාධනීය ය.
නාට්යය ආරම්භ වන්නේ විශ්වවිද්යාල උද්ඝෝෂණයකැයි උපකල්පනය කළ හැකි ඝෝෂාවකිනි. වේදිකාවෙහි වන ඇඳක් මත තරුණයෙක් වැතිර සිටී. ඔහුට පොලිසිය විසින් පහරදෙනු ලැබ ඇති බවත්, මේ මොහොතේ එම තරුණයා පොලිස් ආරක්ෂාව යටතේ සිටින බවත්, නාට්ය ආරම්භය අපට සන් කරයි. පොලිසිය විසින් සිදු කරනු ලැබූ පහරදීමේ බරපතලකම කෙසේ ද යත් වෛද්ය මතය වන්නේ තරුණයා නැවත සිහිය ලබන්නේ කිසිවක් නොදන්නා පොඩි දරුවකුගේ මානසිකත්වයෙන් බවයි. සියල්ලන් සුදානම් වන්නේ තරුණ ළදරුවාගේ චින්තනය සකස් කිරීමට ය. තමන්ට අවශ්ය ආකාරයේ “හොඳ” දරුවකු නිර්මාණය කරගැනීමට ය.
ගිනි ගිනි මාලේ නාට්යයේ මෙම ආරම්භය පැති කිහිපයකින් වැදගත් වේ. ශානරය මනාව හඳුනා ගනිමින් නාට්යෝචිතව ගොඩනගන එම පූර්ව රංගය දෛනිකත්වය විසින් සඟවාලනු ලබන ස්වභාවිකකරණය කරන ලද සාමාන්ය දැනුම ප්රේක්ෂකයා හමුවේ තබන්නේ නුතන න්යායික ආස්ථාන වෙත එල්ලවන ආලෝක ධාරා ද සමගිනි (විශිෂ්ට කලාව තදනන්තරව සාමාන්ය දැනුම ප්රශ්න කරයි යන ප්රවාදය මේ මොහොතේ ලාංකේය සාහිත්ය අඩවිය තුළ හා විචාරය තුළ ගැඹුරින් අධ්යයනය කළ යුතුව ඇත). සුවච, කීකරු “හොඳ” දරුවෙකු නිර්මාණය කර ගැනීමේ ක්රියාවලිය අධීක්ෂණය කරන්නේ මිලිටරි යාන්ත්රණය යි. එය ක්රියාවට නන්වන්නේ පවුල මඟින් ය. ඊට දෘෂ්ටිවාදී මගපෙන්විම ලබා දෙන්නේ “පුහුණුව” යි. එම පුහුණුව හමුදාව විසින් ලබා දෙනු ලබන මිලිටරි පුහුණුවකි. එම පුහුණුව සමස්ත නාට්යය තුළ කේන්ද්රීය ගොඩනැංවීමකි.
“සර් අපට දැන් ආදරය දැනෙනවා සර්” යන්නට තරුණයාගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරින්ගේ දෙබසකි (මීට පෙර තරුණයාට පහර දෙන ලද්දේ ද මොවුන් විසිනි). පහර දුන් ඔවුන්ට ම දැන් ආදරයක් දැනෙන්නේ ඇයි? ඊට හේතුව තරුණයා නිශ්ක්රීය කුඩා දරුවකුගේ මානසික්තවයක් ලද්දකු වන බැවිනි. අධිපති ක්රමයට අවශ්ය අවනත භාවය හමුවේ ඕනෑම අයෙක් හොඳ, යහපත්, දේශප්රේමී ආදි වශයෙන් සුජාතකරණය වේ. එහෙත් එම කථිකාමය යාන්ත්රණයේ අධිපතිවාදීබව, වංචනිකබව ප්රශ්න කිරීමට යෑම ම සමාජ විරෝධියෙකු ලෙස ද්රෝහියෙකු ලෙස පිටමං කිරීමට හේතු වේ. මෙම හිංසනයේ ඛේදය සුදත් නාට්යෝචිතව ප්රේක්ෂකයා හමුවේ තබයි.
මෙය තවදුරටත් සංකීර්ණ වන්නේ තරුණයාගේ මව, පියා හා සහෝදරියගේ ආගමනයෙනි. ඔවුහු ආයුධ අතැතිව වේදිකාවට පැමිණෙති. ඔවුහු තමන් ලැබු මිලිටරි පුහුණුවේ ආශ්චර්යවත් බව, අභිමානවත් බව පෞර්ෂයය ආදිය ගැනත්, පුහුණුව විසින් තමන්ට ලබා දෙනු ලැබූ ආත්මවිශ්වාසය පිළිබඳවත් උදම් අනති. පවුල පවුල් බලකායක් බවට පත් වී ඇත. කුඩා දරුවකුගේ මනසින් යුතුව සිහිය ලබන තරුණයා “හොඳ” දරුවකු ලෙස සමාජගත කරන ආකාරය පිළිබඳව ඔවුහු සාකච්ඡා කරති. තරුණයාගේ මිතුරන්වන විශ්වවිද්යාල සිසුන් ද්රෝහීන් ලෙසත් තරුණයාට පහර දුන් යාන්ත්රණය ගැලවුම්කරුවා ලෙසත් සිතීමට සලස්වන ආකාරය පිළිබඳ පිඹුරුපත් සකසති. පෙර පාසල පොඩි “බංකරයක්” කොට පොඩි පුහුණුවක් දෙන ආකාරයත් අධිෂ්ඨානශීලිව තදේට බැඳ උගන්වන ආකාරයත් සහෝදරිය පියාට පවසන්නී ය. මාපියෝ ඇගේ සහෝදර ස්නේහය පිළිබඳ තුටු වෙත්. කොටින් ම සංඥා භාෂාවක් පවා ඔවුහු නිර්මාණය කර ගනිති. මේ සමස්තය ප්රේක්ෂකයන් තුළ සරදමට භාජනය වීම නො වැලැක්විය හැකි ය. සුදත් එම කොටස වේදිකාව තුළ වන පවුලේ විකාරයක් බවට පත්කොට ඇත. අපට දැනෙන්නේ ද එය විකාරයක් ම බව ය. එහෙත් ඛේදය වන්නේ ඔවුන්ට (පවුල් බලකායට) එය පරමාදර්ශයක් වීම තුළ ය. ප්රේක්ෂකයාටත් එය සාමාන්ය මිනිසුන් විකාරයක් බවට පත් කළ පුහුණුව නැමැති යාන්ත්රණය නො පෙනී බොඳ වී යෑම තුළ ය. ආන්තිකකරණයන් පරමාදර්ශ බවට ඌනනය වන, ඌනනය කරන සමාජයක ඛේදය සුදත් අප හමුවේ තබන්නේ රංගන වේදීන් සතු දුරස්ථීකරණ විභවතාව මනාව භාවිත කරමිනි.
සමස්ත නාට්ය පඨිතය ම විසංයෝජනීය කියවීමක් ඉල්ලා සිටින්නේ පොලීසිය, හමුදාව, පවුල ඈ යාන්ත්රණය බලාපොරොත්තු වූ ආකාරයට සිදු නො වී තරුණයා ප්රකෘති සිහිය ලබා තමන්ට පහර දෙන ලද්දේ පොලීසිය විසින් වන බවට පුනපුනා ප්රකාශ කරනු ලැබීමේ දී ය.
ගිනි ගිනි මාලේ නාට්ය ආකෘතිය තුළ පැනෙන සමහර ලක්ෂණ හා වාක්ය ඛණ්ඩ කේන්ද්රීය බවක් හා පඨිතයට ඔබ්බෙහි වන කියවීමක් ඉල්ලා සිටී. යටපත්කොට ගෙන තිබෙන හැඟීම් පරමාදර්ශ ලෙස මතු වීම (ෆ්රොයීඩියානු අර්ථයෙන්), පවුල නමැති ඒකකය, එහි පැවැත්ම, රාජ්ය හා අන්තර් සම්බන්ධය, ආදරය යනාදිය අතර “ප්රකෘති සිහිය” ඉන් එකකි. තරුණයා කිසිත් නොතේරෙන කුඩා දරුවකු ලෙස සිහිය ලද්දේ නම් ඔහු සියල්ලන්ගේ (අධිපති යාන්ත්රණයේ) සුවච, කීකරු, ආදරණීය දරුවකු වනු ඇත. එහෙත් ප්රකෘති සිහියෙන්, සිදු වූ සියල්ල විස්තර කිරීමේ දී ඔහු ද්රෝහියෙක් බවට පත්වේ. එමතු ද නො ව සිය පවුල් බලකාය විසින් ම සිය දරුවා අන්යයක් බවට පත් කෙරේ. පුහුණුව මගින් ලබන දෘෂ්ටිවාදී අවනතභාවය හමුවේ (හෙජමොනිය) තරුණයාගේ දැනුම , බුද්ධිය, නිදහස් චින්තය සාපයක් ලෙසට ඌනනය කරයි. ඓන්ද්රීය දැනුමට, බුද්ධියට නිග්රහ කරන සමාජයක් කිසි ලෙසකත් පොහොසත් සමාජයක් වන්නේ නැත. එවැනි සමාජයක ආගම්වාද, ජාතිවාද ඈ ආන්තිකකරණයන් සිය දරුවාට වඩා පුජනීය යැයි හඟින මුග්ධ එකක් වීම නො වැලැක්විය හැකි එකක් බව සුදත් සිය නිර්මාණය මගින් අප හමුවේ තබයි. එය ගිනි මාලයක් කර ලා ගැනීමකි.
තරුණයාගේ ප්රකෘති සිහිය රෝගී මානසික තත්ත්වයක් ලෙසට අර්ථකථනය කරන මාපියන් හා පොලීසිය තරුණයා සුවපත් කිරීමට වෛද්යවරයෙක් කැඳවයි. ඔහු විශ්වශක්තියෙන් මේ උමතුව සුව කිරීමට උත්සුක වේ. එම රංගය නුදුරු අනාගතයේ දී ආගමක් සේ දලු ලා වැඩෙන වෙළඳාමක් වේදිකාව මත නිරුවත් කරයි. හුදු ව්යාජත්වයේ වෙළඳාම තදනන්තරව ඊට වඩා බලපෑම් සහගත යමක් සිය ආධාරකය කරගනී. ජ්යොතිෂය ආදිය බෞද්ධ ඌරුවක් ගැනීමට තැත් කිරීම හා විශ්වශක්ති වෙළඳාම විද්යාත්මක ඌරුවක් ගැනීමට තැත් කිරීම සංකල්පීයව දෙකක් නො වේ.
ප්රකෘති සිහිය ලද තරුණයා දරාගත නො හැකිව සිරිගත කරනු ලබන්නේ මව පියා හා සහෝදරිය විසින් ම ය. මෙවැනි සිරකිරීම් භෞතිකව සිදු නොවුවත් දෘෂ්ටිවාදීව ඕනෑ තරම් සිදුවන බව අප සමාජය සාක්ෂ දරනු ඇත. සිය පවුල විසින් ම අන්යයෙක්, මුග්ධයෙක්, ද්රෝහියෙක් කරනු ලැබු තරුණයා වේදිකාව මත රූපණය වන්නේ වසඟයේ ආධිපත්ය කොතරම් බියකරුද යන්න ප්රේක්ෂකයාට අවධාරණය කරමිනි. අවසානයේ දී රාජ්ය යාන්ත්රණය විසින් සිදු කරන ලද්දේ රැවටීමක් බව තේරුම් යන මව පියා හා සහෝදරිය එනම් “පවුල් බලකාය” තරුණයාගේ සත්ය, ලෝකය හමුවේ කියා පෑමට බලකරයි. පවුල් බලකාය, පවුල බවට රූපාන්තරණය වන විට තරුණයා කුඩා දරුවකු බවට පත් වී හමාර ය. එම අවසාන ඇඟවුම තුළ තරුණ නළුවා සංකල්පීය වශයෙන් පමණක් කුඩා දරුවකු බවට පත්වූ බවක් පෙන්වන අතර ඔහුගේ කායික භාෂාව වෙනසකට ලක් නොකරයි. වචන දෙබස් දරුවකු ලෙස ප්රකාශ වීමත් ශරීර භාෂාව එසේ නොවීමත් අතර ගොඩ නැගෙන සංදිග්ධාර්ථවත් බව නාට්ය අවසානයට ආලෝකයක් වේ. එය රූපණය අර්ථ ගොඩනැගීමෙහිලා සාධනීයව භාවිත කළ අන්දමට කදිම නිදර්ශනයකි.
පුතේ උඹට අම්මව අදුරගන්න බැරි ඇයි? යන ප්රශ්නය ප්රකෘතිය අහිමි තරුණයාගෙන් අසන පැනයකි. එහෙත් සමස්ත නාට්ය තුළ ප්රේක්ෂකගාරයේත් ඉන් පිටතත් නින්නාද වන්නේ විකල්ප තරුණයෙක්, අරගලකාරී තරුණයෙක්, ඓන්ද්රීය තරුණයෙක් තේරුම්ගන්නට, රැකගන්නට, දරාගන්නට පවුලක් ලෙස, සමාජයක් ලෙස අපට බැරි ඇයි? ද යන ප්රශ්නයයි.
තරුණයාගේ පියා ද උපාධිදාරියෙකි. එහෙත් ඔහු පවුල් බලකායේ ප්රධානියා ය. එම ඇඟවුම සාම්ප්රදායික බුද්ධි වෘත්තිකයකු වෙනුවට ඓන්ද්රීය බුද්ධිමතෙක් නිර්මාණය කර ගැනීමේ අවශ්යතාව මොනවට මතුකරයි. සමස්ත නාට්යය තුළ රංගවේදීන් නිර්මාණයට සාධාරණයක් ඉටුකරයි. එහෙත් නාට්ය ආකෘතිය රංගයේ තල කිහිපයක් මතුකරගැනීමේ ඉඩ නෛසර්ගිකව ම ලබා දී ඇත. සුදත් තවදුරටත් ඊට සවිඥානික වන්නේ නම් මැනවි. එමෙන් ම මිලිටරි යාන්ත්රණය සමාජගත කරන ප්රබල දෘෂ්ටිවාදී ඇඟවුමකි ඒකාකෘතික බව. එය රංග වස්ත්ර සියුම්ව කලමනාකරණය කරගැනීමෙන් ප්රේක්ෂකයා මත අන්තර්දෘෂ්ටි මතු කරගැනීමට දායක කරගත හැකි බවද කිව යුතුය. මිනිසා ස්වභාවයෙන් ම ඒකාකෘතිගත වීම ප්රතික්ෂේප කරයි. එමතු ද නොව පසුතලයේ ඇති ෆැන්ටසිමය ඇඟවුම් ආරම්භයට ගැලපෙනවා වුවත් රංගය හා සමස්ත පඨිතය විසංයෝජනීය මානයක් වෙත ඉලක්කගත වන අවස්ථාවේදී එම පසුතලය තේමාත්මක මානයට කොතරම් උචිත ද යන්නත් සැලකීම වටී. විටෙක රූපය වචනයට වඩා ප්රබලව ප්රේක්ෂකාගාරය ආමන්ත්රණය කිරීමට ඉඩ ඇත.
සුදත් අබේසිරිවර්ධනගේ “ගිනි ගිනි මාලේ” නාට්යය ෆැන්ටසියක් ලෙස කෙනෙකුට ඒත්තු යා හැකි ය. එය එසේනම් ඔබ වඩාත් පරෙස්සම් විය යුතු ය. මක්නිසාද යත් අප ජීවත්වන්නේ ෆැන්ටසිය, යථාර්ථයට වඩා යථාර්ථවාදී වූ සමාජයක වන බැවිනි.
මෙම ලිපිිය Litආර්ට් සඟරාවේ පළ විය.

Saturday, February 22, 2020

උමතු මොහොතක් අසල මොහොතක් - රෝස මුසැන්ඩාස් පිස්සුව



කිසිඳු සාහිත්‍ය කලා ශානරයක් එකිනෙකට උසස් හෝ පහත් හෝ වන්නේ නැත​. එහෙත් සියලු ශානරයන් ඊටම අනන්‍ය වූ භාවිතයන් අත්පත් කරගනී. ශානරීය ව්‍යූහය හඳුනාගැනීම නිර්මාණකරණයේ විශිෂ්ටත්වය වෙත යා හැකි එක් ප්‍රධාන මගකි. බොහෝ විට  ආඛ්‍යානමය ගොඩනැන්වීම පෙරබිමට කැඳවන සාහිත්‍ය විදිහකි කෙටි කතාව​. සුසන්ත මූණමල්පේ විසින් රචිත රෝස මුසැන්ඩාස් පිස්සුව, ආඛ්‍යානමය ගොඩනැන්වීමේ නිර්මාණශීලීභාවය අත්පත් කරගනු ලැබූ කෙටි කතා සංග්‍රහයකි. මේ එම කෙටි කතා සංග්‍රහය පිළිබඳ කියැවීමකි. 

සමස්ත කෘතිය තුළ සංරචනමය ඒකත්වයක් දැකගත හැකි ය​. ඒකපුද්ගල ගතිකත්වය එහිදී ප්‍රධාන වේ. එහෙත් මූණමල්පේ විසින් ආඛ්‍යානය ගොඩනගනු ලබන ආකාරයෙහි නිර්මාණශීලී ඇඟවුම පාඨකයා වෙත ප්‍රදානය කරනු ලබන්නේ යම් විවිධත්වයකින් යුතු අත්දැකීමකි. ස්-මරණය සහ ගස්මරණය, රෝස මුසැන්ඩාස් පිස්සුව හා විජිතගේ වළලු විජිතය ආකෘතික වශයෙන් සාම්‍යයක් අත්පත් කරගත්තද, එම ආඛ්‍යානයන් විසින් ඇති කරනු ලබන සංකථනීය අවකාශයන් එකිනෙකට ස්වාධීන ය​. 

ස්-මරණය සහ ගස්-මරණය යන ප්‍රථම ආඛ්‍යානය මානව කේන්ද්‍රීය අධිකාරීත්වයට ඍජුව ම අභියෝග කරන්නකි. මෙහිදී එම අභියෝගයේ ප්‍රභලත්වය මතුවන්නේ නිර්මාණකරුවා විසින් කොස්ගස  හා ගිමාරා අතර ගොඩනගනු ලබන නිර්මාණාත්මක හා අන්තර් පෝෂණාත්මක සම්බන්ධය හේතුවෙන් ය. එම සම්බන්ධයෙහි පවතින අවියෝජනීයත්වය පාඨකයා තුළ දනවන්නේ සානුකම්පික පරිකල්පනයකි. නාගරීකරණය (නාගරික ධනවාදය​) විසින් අනෙකකු බවට පත් කරනු ලබන්නේ ගම පමණක් නො වේ. 

"ධනපාල ස්ටෝර්ස් වැහිලා ගිහින් දැන් අවුරුදු දෙක තුනක් වෙනවා. මහ මුදලාලි මැරුණට පස්සේ කඩේ ඉබේම වැහිලා ගියා." (10 පිටුව​) 

ධනපාල ස්ටෝර්ස්හි පැවැත්ම මුදලාලි සමග බද්ධ වන්නේ ඇයි? ඒ වෙනුවට ෆෝන් කඩයක්, පෙරකදෝරු කන්තෝරුවක්,ටේලර් සාප්පුවක් ආදේශ වේ. තවත් කලකින් ‌මේවාට නව ආදේශක පැමිණේ. මූණමල්පේ සමස්ත කෘතිය තුළ ආඛ්‍යානමය ගොඩනැංවීමේ දී මෙකී සමාජ ගතිකයන්ට සවිඥානිකව ආමන්ත්‍රණය කරයි. එහෙත් මෙම කෙටි කතාව තුළ වන සංකේතීය අවකාශය පුළුල් වන්නේ ‌කොස් ගස​ ස්ථානගත කරන ව්‍යූහය තුළ ය​. ගිමාරා හාමිනේ කොස් ගස හා සංලාපයකට පැටලෙන්නේ ජීවිතයේ අවසාන භාගයේ, පුරා හඳ පෑයූ එක් පොහෝ දිනක ය​. (ගිමාරා නැමැති මහලු කත, පොහෝ දිනක වෙනත් සංලාපයක යෙදීමට තරම් සාපේක්‍ෂ නිදහසක් භුක්ති විඳ ඇත.) මූණමල්පේ මෙකී සංවාදය අවියෝජනීය ඥාති සම්බන්ධයක් බවට පත්කරයි. කොස්ගස (ගොඩකවෙල​) භූමිය සිඹ සිය ජීවිතය ආරම්භ කරන්නේ ගිමාරාගේ නව ජීවිතයේ ආර්ම්භයත් සමග ය​. ඒනයින් ගිමාරාගේ ගොඩකවෙල උපතත් කොස්ගසේ උපතත් එක ය​. එබැවින් ඔවුහු සහෝදරයෝ වෙත්. ගිමාරාගේ කුස තුළ කළලය වර්ධනය වීමට සාපේක්‍ෂවය කොස් ඇටය රිකිලි දා වැඩෙන්නේ. ඒනයින් ගස වනාහී ගිමාරාගේ දරුවකු වැන්න​. එක් පසෙක සොහොයුරෙකු වන ගස තවත් විටෙක දරු‌වෙක් බවට ඌනනය වේ. එහි දී ඇගේ දරුවන් කිසි දින නොදුටු, නොහඳුනන සහෝදරයෙකු සිටි බවත් ගිමාරා සමග එකී සහෝදරයා මිය ගිය බවත් එය ඇගේ දරුවන් පවා කිසි දිනෙක නොහඳුනන යථාර්ථයක් බවත් අමුතුවෙන් කිව යුතු නැත. 

මෙකී අවියෝජනීය සහසම්බන්ධය සංකේතීය අවකාශයකට මුදාහරින කතුවරයා කොස් ගස සමස්තයේ ප්‍රකාශනයක් ලෙස පාඨකයා හමුවේ තබයි. 

"ගිමාරා හාමිනේ කියන්නේ ඔය එහෙට මෙහෙට යන පංචස්කන්ධය විතරක් ම නෙමෙයි. සියදෝරිස් මුදලාලි දරුමල්ලො විතරක් නෙමෙයි ඔය තට්ටු දෙකේ කඩ ගෙදර කියන්නෙත් හාමිනේගෙම කෑලි...මම කියන්නෙත් ගිමාරගෙ තව කෑල්ලක්." (15 පිටුව​)

මෙය කරණීයතර්කනය තුළ හිර වූ යථාර්ථයෙන් හා කාර්පට් පාරකින් දියුණුව මනින සමාජයකට කිසිවිට මතු කර ගත හැකි යථාර්ථයක් නොවේ. එබැවිනි ඔවුන්ට පරණම පදිංචිකාරිය මිස එතරම්ම පැරණි වනස්පතිය විෂය නොවන්නේ. 


"තව පැය දෙකකින් එහෙම නැත්නම් අද දවස ඇතුළත මේ මුළු නගරය ම දැනගනී මේ ටවුමෙ හිටපු පරණම පදිංචිකාරිය මිය ගිය වග​." (18 පිටුව​)

මෙම ආඛ්‍යානයේ කලාත්මක හමාරය සිදුවන්නේ ගිමාරාගේ කය අපමණ සැහැල්ලුවකින් අහසේ පාවුනා යන තැණිනි. තව දුරටත් සවිඥානික වූවා නම් හුජ්ජ ගඳස්කාරයත්, පරණ ම පදිංචිකාරිය යන ඇඟවුමත් අවසාන විස්තරය ලෙස ගොඩ නො නගා නිර්මාණශීලීව ගොඩනැගීමට ඉහත කී ආඛ්‍යානමය සන්දර්භය තුළ මොනවට ඉඩ තිබුණු බවද කිව යුතු ය​. 

කවිය සහ කෙටි කතාව වැනි සාහිත්‍ය ශානර පඨිතයන් කේවලව කියැවීම යෝජනා කර තිබුණත්, කෘතිය සමස්තයක් ලෙස වටහා ගැනීමට උත්සුක වීම නිශ්ප්‍රයෝජන නැත​. 

කොහොම ද ඔප්පු කරන්නෙ? යන දෙවැනි ආඛ්‍යානය සහ ‌‌රෝස මුසැන්ඩාස් පිස්සුව යන තෙවැනි ආඛ්‍යානය අතර තේමාත්මක සාම්‍යයක් ඇත​. සමාජභාවය වෙනස් කරමින් ගොඩනගන පඨිත දෙක ලැකානියානු කියවීමක් ඉල්ලා සිටින බව කිව හැකි ය​. (එය කියවිය හැකි එක් ධාරාවක් පමණි) තෙවැනි ආඛ්‍යානය හා සිව්වන ආඛ්‍යානය (විජිතගේ වළලු විජිතය​) අතර ආකෘතික සාම්‍යයක් ඇත​. විලාසිතාව මූලික කර ගනිමින් එම විලාසිතාව ම පඨිතය තුළ දියකොට ඊට බහු අරුත් ආදේශ කිරීම දැක ගත හැකි ය​. ඉන් වඩා නිර්මාණශීලී භාෂාත්මක ඇඟවුම ඇත්තේ රෝස මුසැන්ඩාස් පිස්සුව තුළ ය​. එහෙත් වඩා සියුම් පාඨකයකු ඉල්ලා සිටින්නේ ඒ අතරින් විජිතගේ වළලු විජිතය යි. 

"ඇරත් මුසැන්ඩාස් අත්ත පැලවෙයිද නැද්ද කියල කව්ද දන්නෙ." (30 පිටුව​)

ආශාවේ අනපේක්‍ෂිත බවත් "ගහ හරියට ම හැදිල වැඩිල මල් පිපෙන්න ඔන්න මෙන්න කියල හිතෙනකොට ම නාමල් ගහ අත​ඇරල දැම්ම​...එදා පිපුණනම් පිපෙන්නෙ රෝස පාට මලක්." (31 පිටුව​) ස්ත්‍රී සන්තානය තුළ ආශාවේ විකාශනයත් එහි පුරුෂ කේන්ද්‍රීය දෘෂ්ටිවාදයත් "අයියේ මල් පිපුණා" (33 පිටුව​) යන අඟවුමේ ඇති උත්ප්‍රාසය හා විරුද්ධාභාසීය බවත් මූණමල්පේ සතු කතා කීමේ කලාවට දෙස් දෙයි. (එහෙත් කතුවරයා මතු වී කරන සක්ක ගැසීම ද ඒ අතර වෙයි.)

මල්කාන්තිගේ සන්තානය උමතු කරවූ සමාජභාවය තුළ ලිංගික පීඩකයකු වූ නාමල් වීරත්වයේ සදානුස්මරණීය සිහිවටනයක් ලෙස ගමට පැමිණ තිබේ. මූලික සාත්තුවේ පොහොසත්කමින් ඇය තුළ හැදී වැඩුණු ආශාවේ සිහිවටනය ආදේශක විසින් ආක්‍රමණය කරනු ලබමින් තිබේ.  ගස වැඩුනු පොළොව වේගයෙන් කොටන්නේ ද ඈ ම ය​. 

විලාසිතාමය අඛණ්ඩ ආදේශකත්වය වෙනුවට ජීවිතය, පැවැත්මේ ආදේශකයක් ලෙස ඌනනය වීමක් විජිතගේ වළලු විජිතය තුළ අපට හමු වේ. 

විජිත වළලු පළදින්නේ මතකයන් වෙනුවෙන් ය​. ඔහු එම මතක ගොන්න වළලු පළඳා රැකගනී. එය පාඨකයාට නිරාවරණය වන්නේ ඔහු කුමාරි සමග කරන සංලාපයන්ගෙන් ය. අවසන කුමාරි ද විජිතට වළල්ලක් ඉතිරි කරයි. ඉන්පසු විජිත කොන්‌‌දොස්තර රැකියාව මෙන් ම වළලු ද අතහරී.

"බඹ ගානට පොළොව හාරලා ඒ ගැඹුරට හරියන්න අඩි තුනේ කොන්ක්‍රීට් වළලු බස්සනවා. අතේ එක වළල්ලක්වත් නැතුව කොන්ක්‍රීට් වළලු බස්සන රස්සාව විජිත ගොඩක් ඉක්මනටම ඉගෙන ගත්තා." (46 පිටුව​)

මෙය හුදු රැකියාවකට ආදේශවීමක් ලෙස වටහා ගැනීමට පඨිතය තුළ ඉඩක් නැත. එහි ඇඟවුම අනෙකකි. සමස්ත පඨිතය තුළ වළලු යනු මතකයන් ය​. එම මතක ඔහු වමත මත විය​. දැන් වළලු එනම් මතක වමත වෙනුවට පොළොවට කාවද්දයි. 

"...මට ඒ වෙලාවට මහ පොළොව පේන්නේ දුප්පත් මැදි වියේ ගෑනියෙක් වගෙයි. ඒ ගෑනි මුළු ජීවිත කාලේ හම්බකරගත්ත වස්තුව කනකර ටික තියාගෙන දීග යන්න බලාගෙන ඉන්නවා." (42 පිටුව​)

දැන් විජිතගේ විතැන් වීම පැහැදිලි ය. ඔහු වමත මත රැඳි මතක අතහරින්නේ කුමාරිගේ (තරුණියක) සම්බන්ධය අහිමි වූ බැවිනි. එබැවින් ඔහු සිය පැවැත්මේ අඛණ්ඩත්වය පවත්වා ගන්නේ මැදිවියේ ස්ත්‍රීන්ට පතුලට ම කිඳා බසින මතක ඉතිරි කිරීමෙනි. ඔහු නැවත වමතට වළලු දැමීමක් මේ ක්‍රියාවලිය තුළ සිදු නො කිරීමට ඇති ඉඩ වැඩි ය​. ඒ කුමක් නිසාද යත් එය ඔහු ඉක්මනින් ඉගෙන ගත් "රැකියාව​" වන බැවිනි. 

කෙටි කතා ශානරය තුළ මොහොත නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කිරීම ඉතා වැදගත් ය​. එහිදී හිස් මල් වට්ටියත් කිහිල්ලේ ගසා ගෙන යන ආඛ්‍යානය වැදගත් වේ. සමස්ත කෘතිය තුළ නාමකරණයන් විසින් පඨිතය වෙත මුදාහරින ඇඟවුම වැදගත් ය​. එය මාතෘකව යනු හුදු වාසගමකින් ඔබ්බෙහි පිහිට විය යුත්තක් බවට සවිඥානික වීමකි. 

වැව් සාගර සහ සොහොන් අරලියාහි ආකෘතිය හා ඊට අදාළ භාෂාව පිළිබඳ තවදුරටත් සැලකීම වටී. සමස්ත කෘතිය තුළ නිපාත භාවිතය අර්ථමය පොහොසත් බවක් වෙත මුදා හැරීමට සවිඥානික විය යුතුව ඇත​. 

සාහිත්‍ය කලා ශානරයන් නිර්මාණශීලී අඩවිය වෙත දක්වන නෑකම අත්‍යවශ්‍ය ය ​. එමෙන්ම​, එමඟින් ඇති කළ යුතු පුළුල් සංකථනීය අවකාශය සාහිත්‍ය කලාවට වගකීම් සහගතව සාවදාන විය යුත්තේ ඇයිද යන්න නැවත නැවතත් සමාජයට ඒත්තු ගන්වනවා ඇත​. 

නලීන් එන් කාරියවසම්

Saturday, March 2, 2019

බහුවිධ නිර්මාණ ගොමුවක කේන්ද්‍රීය ප්‍රකාශනය​

නාට්‍යයක් යනු මානව ජීවිතයේ අර්බුදය, මිනිසුන් ඉදිරියෙහි තබා ගෙන ම සජීවිකරණය කළ හැකි  එකකි. තමා ද එම අර්බුදයේ  කොටස්කාරයකු බව ඒත්තු ගැන්විය හැකි එකකි. නාට්‍ය නැරඹීම නැමැති  අත්දැකීම ම අභියෝගයක් වන්නේ එබැවිණි. 

ඉහත පූර්විකාවෙහි නිමිත්ත එක පෙළට රංග ගතවන කෙටි නාට්‍ය සතරකි. නිශ්චිත මොහොතවල් තීව්‍ර කිරීමෙහිලා කෙටි නාට්‍ය ශානරය දක්වන සමත්කම සාපේක්‍ෂව ප්‍රබල ය. ආණ්ඩුවේ රස්සාව, උද්‍යානයක පෙම්වතුන් යුවලකගේ හමුවකි. ප්‍රේමී කවි නළුව, නාට්‍යමය අවකාශයකි. කිරිඅම්මා අවතාරය, මධුසමය දා රාත්‍රියේ කායික ප්‍රේමයට පූර්වයේ ගොඩනැගෙන මොහොතකි. ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු, බස් නැවතුම් පොලක සිදුවීමකි. මෙම සිදුවීම් එකිනෙක ස්වායක්ත යැයි බැලූ බැල්මට පෙනී යා හැකි ය. නමුත් මේ සියලු අර්බුදයන්ගේ කේඳ්‍රීයත්වය එකිනෙකට වෙනස් වන්නේ නැත. සියල්ල ගැඹුරු ව්‍යූහීය අර්බුදයේ ප්‍රකාශයන් ය. නාට්‍ය හතර ම අනන්‍යතා අර්බුදයක් ලෙස කියවිය හැකිය. එම අනෙකා සංස්කෘතික, සාමාජික, ආගමික, ලිංගික ආදී බහුවිධ අනෙකෙකි. සානුකම්පික පරිකල්පනය වගා නොවීමේ ඛේදය වේදිකාව මත පමණක් නොව සමාජයේ ඕනෑම තැනක දැකගත හැකි වීම අභාග්‍ය සම්පන්නය. 

නාට්‍ය සියල්ලේ ම ඇති තවත් එක් පොදු ලක්‍ෂණයක් වන්නේ  වෘත්තීයමය ජීවිතය පිළිබඳ ඇති අර්බුදය යි. මෙම නාට්‍ය හතරේ ම ප්‍රධාන චරිත රැකියා විරහිතවූවෝ වෙති. ඉන් තිදෙනෙක්ම උසස් අධ්‍යාපනය ලද්දවුන් ය. එසේ නොමැති එක් අයෙකු අපට හමුවේ. ඔහු නාට්‍යකරුවෙකි. එය තවත් උත්ප්‍රාසකාරී වන්නේ ප්‍රේමී කවි නළුව ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරන ලද නාට්‍ය වීමෙනි.

සමස්තය පිළිබඳ පොදු කියැවීමේ දී මතුකළ යුතු තවත් ප්‍රධාන ප්‍රපංචයක් වන්නේ අවිශ්වාස පිළිබඳ තේමාත්මක ඉඟි කිරීමයි. එහි දී සියලුම නාට්‍ය විවිධ මානයන්ගෙන් මතුකරන්නේ විශ්වසනීය භාවයක් නොවන අතර සියලු අර්බුදයන්ගේ යටි පෙළ ඒ හා සෘජුවම සම්බන්ධ වේ. මෙකී අවිශ්වාසය හෙජමොනික ගොඩනැංවීමක් මිස කිසි ලෙසක ආකස්මිකයක් නො වේ. එහෙත් එහි බරපතළකම වන්නේ ජනතාව ඒ පිළිබඳ සවිඥානික නොවීමයි. මෙකී දෘෂ්ටිවාදී අවනතභාවය තුළ ඒ සියලු අර්බුද හුදෙකලා සංසිද්ධි බවටත් ඒකපුද්ගල අර්බුදයන්ගේ ප්‍රතිඵල බවටත් ඌනනය කර තිබීමයි. ආණ්ඩුවේ රස්සාවෙ පෙම්වතුන්ට ඇති අර්බුදය පෙම්වතාට රැකියාවක් නොමැති වීමයි. එහෙත් අර්බුදය තීව්‍ර වන්නේ ලැබුණු රැකියාව හරහා තමා සමාජයේ අනෙකෙකු බවට පත් වේ යන සැකයයි. අලුගෝසුවාගේ බිරිඳ, අලුගෝසුවාගේ ගෙදර ආදී වරනැගීම් මතු වන්නේ එම සන්දර්භයෙනි. මෙය තවදුරටත් විරුද්ධාභාසීය අර්බුදයක් දෙසට ගමන් කරවන්නේ පෙම්වතියගේ ගැබ් ගැනීමයි. පෙරදිග චින්තනයේ දිගුවක් ලෙස ලාංකේය සන්දර්භය ද මාතෘත්වය පරම පූජනීය කොට ඇත. එහෙත් එම උත්කෘෂ්ට කරණය සැබැවින් ම පවතින්නක් ද යන්න සිතිය යුතුය. ගැබක කළලයක් පිළිසිඳ ගැනීම මාතෘත්වය යි. එහෙත් කසාද සහතිකය අහිමි මාතෘත්වයකට ලැබෙන සමාජ තත්ත්වය පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් උත්කෘෂ්ට වන්නේ අධිපති නිර්ණායකය මිස ස්වභාවිකත්වය නො වන බව පැහැදිලි ය. 
මෙම නාට්‍ය කිහිපයේ ම යම් ආකර්‍ෂණීය ආකෘතියක් අත්පත් කරගන්නේ ප්‍රේමී කවි නළුව යි. එය ප්‍රේක්‍ෂකයා දූරස්ථකරණය කිරීමට සමත් එකකි. සාහිත්‍ය කලා කෘතියක සිය අන්තර්ගතයේ පෝෂණය උදෙසා පාඨකයා හෝ ප්‍රේක්‍ෂකයා හෝ සතු දැනුම උපයෝගී කරගනී. දැනුම හෝ සිතීම හෝ ස්වායක්ත නැත. අප සිතන විට යම් ආස්ථානයක ස්ථානගත වීම නො වැළැක්විය හැකිය. එබැවින් විශිෂ්ට කලාව  ස්ථානගත වන තැන පමණක් නොව සාමාන්‍ය දැනුම ද ප්‍රශ්න කරයි. කවි බණ අපට කිසිසේත් නුහුරු නුපුරුදු නැත. නාට්‍යකරුවා මෙහිදී උපයෝගී කරගන්නේ අප විඥානය තුළ පැළපදියම් වූ එම තානයයි. එම තානය, විඥානය තුළ පැළපදියම් වූ ආගමික මුහුණුවර ගලවා එම භාවිතාව පිළිබඳ ප්‍රතිදෘෂ්ටියක් හෙලීමට අනුබල සපයයි. එහි දී ප්‍රධාන නළුවා විසින් සිය රංග භාවිතය තුළ උපයෝගී කරගනු ලබන විවිධත්වය ද පැසැසිය යුතුය. කලාවේ අධිපති නිර්ණායක දෙස කෙරෙන විවේචනය ද සාමාජීය වශයෙන් අප ඉහතකී ආස්ථානයන්ගේ ම දිගුවක් ය. ප්‍රවීණත්වය හා ආධුනිකත්වය අතර අන්‍යත්ව අර්බුදය ද අධිපති කලා ප්‍රකාශන හා නිර්මාණශීලී නව්‍යතා අතර අර්බුදය ද මෙම නාට්‍ය තුළ සංවාදශීලී අවකාශයක තබයි. ප්‍රේක්‍ෂකයා හා නාට්‍ය අතර ඇති සෘජු අන්තර්සම්බන්ධය විසින් ප්‍රේක්‍ෂකයන්ට ද ඉන් ගැලවී යාමට ඉඩ නො දෙනු ලැබීම සුළු කොට තැකිය හැකි නොවේ. එය වේදිකා නාට්‍ය සතු සජීවීකරණ විභවතාව නිර්මාණශීලීව භාවිත කිරීමකි. එය මේ මොහොත වන විට බොහෝ නාට්‍යකරුවන් විසින් යොදාගනු ලබන එක වැදගත් බුද්ධිමය වෑයමකි.

මා විසින් මතුකරන ලද අන්‍යත්වය හා අවිශ්වාසය යන තේමාත්මක ඉඟි කිරීම් සමග කිරි අම්මා අවතාරය නොපෑහෙන බව කෙනෙකුට සිතෙන්නට පුළුවන. එසේ වන්නේ එම නාට්‍ය බැලූ බැල්මට පුද්ගල අභ්‍යන්තරය විදාරණය වන නාට්‍යයක් වන බැවිණි. පුද්ගල විඥානය සකස් වීමේ තීරක සාධකය වන්නේ සමාජයීය ප්‍රපංචයන් මිස විඥානවාදී බලවේග නොවේ. එබැවින් අඹුසැමියන්ගේ ද්විත්ව චරිත එළියට එන්නේ ම සමාජ සංස්කෘතික රාමුකරණයේ ප්‍රතිඵලයක් ලෙස මිස මනෝ ව්‍යාධියකින් නොවේ. එවිට අධිපති සාම්ප්‍රදායික ස්ත්‍රීත්වයෙන් වෙනස් ස්ත්‍රිය අන්‍යයකු වීම නො වැලැක්විය හැකිය. එවැන්නියකට පුරුෂාධිපත්‍ය දරන පිරිමියාගේ විශ්වසනීය පිළිගැනීම ලැබෙන්නේ ද යන්න අවිනිශ්චිත වීම සාධාරණ ය. පුර්‍ෂයාට ද එය පොදු ය. සිය ජීවිතය තුළ චරිත දෙකක් හෝ කිහිපයක් හෝ නඩත්තු කිරීමට සිදුවන්නේ තම සිතැඟි හා ආස්ථාන පිළිබඳ නිශ්චිත පදනමක් හෝ විශ්වාසයක් හෝ නැත්තවුන්ට ය. එමෙන් ම එවැනි නඩත්තු කිරීමක් ඉල්ලා සිටින පසුගාමී සමාජයක ය. මෙකී නාට්‍ය පෙළෙහි අවසාන නාට්‍ය වන්නේ ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගමු නාට්‍යය යි. ධර්මිෂ්ට සමාජයක් ගොඩනැගීමට යෑම ම අන්‍යත්ව අර්බුදය හා අවිශ්වාසය තීව්‍ර කිරීමකි. ෆ්ෆ්‍රායිඞ්ට අනුව මිනිස් අභ්‍යන්තරයේ ඇති අර්බුදයන් මතුපිටට එන ආකාර ප්‍රධාන වශයෙන් දෙයාකාර වේ. හිංසනයක් ස්වරූපයෙන් පැමිණීම ඉන් පළමුවැන්න යි. දෙවැන්න සංස්කෘතික හා සදාචාරාත්මක වේශයෙන් පැමිණීමයි. මෙහි අතිශය සියුම් සහ භයානක වන්නේ දෙවැනි ආකාරය යි. මක්නිසාදයත් සංස්කෘතික සදාචාරාත්මක වේශයෙන් පැමිණෙන එම ප්‍රකාශන බොහෝ දුරට සමාජය තුළ පරමාදර්ශයන් ලෙස බෞතීස්ම වන්නට ඉඩ ඇති බැවිනි. සමාජ මතයක් ඒ වටා ගොඩනැගෙන බැවිනි. ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය, ගෝත්‍රවාදය ඈ සියල්ල නසන්නේ මනුෂ්‍යත්වය ය. උපදින්නේ අන්‍යත්වය හා විශ්වාසය ය. එය කොතරම්ද යත් මේ වන විට තමා අසල සිටින්නා පවා විශ්වාස නැත. බස් නැවතුම්පොලේ බසයක් එනතුරු සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කෙරෙහි අවිශ්වාසය උඩු දුවන්නේ ඔහු පරමාදර්ශී යැයි සම්මත ගීතයක් නොදැන සිටීම ය. එම පරමාදර්ශය කාගේ පරමාදර්ශයක් ද? කවර පදනමක් සහිත පරමාදර්ශයක් ද? ජාතිය හෝ ආගම හෝ කුලය හෝ ගෝත්‍රය හෝ කවරක් මනුෂ්‍යත්වයට වඩා ඉහළ නැත. ඕනෑ ම මුග්ධයෙකුට අන්තවාදියෙකු විය හැකි ය. ඊට බුද්ධියක් අවශ්‍ය නැත. එහෙත් විශ්වීය මිනිසකු ලෙස සියල්ලටම ඉහළින් මනුෂ්‍යත්වය තැබීමට නම් ඓඳ්‍රීය දැනුමක්, බුද්ධිමය කියැවීමක් හා විසල් හදවතක් තිබිය යුතු ම ය. එය ඉතා පරිශ්‍රමයෙන් ළඟා කරගත යුත්තක් මිස මොහොතකින් පිහිටිය හැකි ආස්ථානයක් වන්නේ ද නැත. 

නාට්‍ය හතර ම එක පෙළට කියාපාන්නේ කුණුවී ගිය පුද්ගල, සමාජ දේහයේ වේදනාකාරී ප්‍රකාශනය ය. මේ සටහන පුරා අප විසින් මතු කරනු ලබන තර්කය වන්නේ ද මේ සියලු සංසිද්ධි ගැඹුරු ව්‍යූහීය අර්බුදයේ ප්‍රතිඵල මිස ස්වායක්ත තනි සිදුවීම් නො වන බව ය. දකුණේ සිදුවීමක් හා උතුරේ සිදුවීමක්  අතර කේඳ්‍රීය සාම්‍යයක් ඇති බව ය.

නලීන් එන් කාරියවසම්

Monday, April 10, 2017

නිර්වාග්මය වියමනක ආස්‌වාදය ලව් ඇන්ඩ් ලයිෆ්


නිර්වාග්මය වියමනක ආස්‌වාදය ලව් ඇන්ඩ් ලයිෆ්

නලීන් එන්. කාරියවසම්



සංඥාර්ථ ලෝකයේ කුඩා කොටසකි භාෂාව. එහි වචන සහ අර්ථ අතර ස්‌වභාවික සම්බන්ධයක්‌ නැත. වචන නිරන්තර අර්ථ උද්වීපනයෙහි ශක්‍යතාව ඇතිකරගෙන තිබෙන්නේ අර්ථ අතර සුළු හෝ වෙනසක්‌ පාදක කොටගෙනය. විටෙක අප භාෂාවේ සිරකරුවන් ය. භාෂාව උත්තම පරම පූජනීය වස්‌තුවක්‌ නොවේ. නො වෙනස්‌ වන සුළු ද නොවේ. සජීවි භාෂාව අත්‍යන්තයෙන් ගතික ය. අප කළ යුත්තේ එම ගතිකත්වය වටහා ගනිමින් භාෂාව නමැති මෙවලම මානව අභිවෘද්ධිය උදෙසා භාවිත කිරීමයි. ඕනෑම ජන සමාජයක දැනුම ප්‍රඥාව ගබඩා වී තිබෙන්නේ වචන කේන්ද්‍රගත කොටගෙන පමණක්‌ නො වේ. එය නිර්වාග්මය පඨිත ලෙස කොතෙකුත් ව්‍යqහගත වී ඇත. භාෂාව විසින් සත්‍ය ලෙස දැකිය යුතු දේ විකෘති කරනු ලබන බව ෙµඩ්රික්‌ නිෂ්ටේ වරෙක ප්‍රකාශ කළේ භාෂාව කෙරෙහි නැවත සිතා බැලීමට ඉඟි කරමිනි. එය එක්‌තරා පාරභාෂික ඉඟිකිරීමකි.

ඉහත පූර්විකාගත කිරීම මා විසින් කරන ලද්දේ පසුගිය දිනෙක ලද අපූර්ව නාට්‍යමය අත්දැකීමක්‌ වෙත එළැඹීමේ අදහසිනි. එය එස්‌. අයි. සමරක්‌කොඩිගේ 'ලව් ඇන්ඩ් ලයිෆ්' වේදිකා නාට්‍යය යි. මෙම රචනය කෙරෙහි මා ආලෝලනය කළේ එහි වූ තේමාත්මක මානයට වඩා ආකෘතිමය සහ උසස්‌ රංග තාක්‍ෂණික භාවිතාව යි. ඉන් අදහස්‌ වන්නේ නිර්මාණය තුළ වූ තේමාත්මක කතිකාව එතරම් වැදගත් නොවන බව නොවේ. යුග ත්‍රිත්වයක පිය පුතු සම්බන්ධය (ගැටුමක්‌ ලෙස ද අර්ථකථනය කළ හැකි ය) කේන්ද්‍ර කොටගනිමින් කුටුම්භගත සහසම්බන්ධය මෙන් ම ප්‍රේමයේ විවිධ අවස්‌ථා කරා ප්‍රේක්‍ෂක මනස ගෙන යාම ද අන්තර්ගතය තුළ ඉසියුම්ව සිදුවේ.

තිරය විවර වන්නේ නිවෙසක ආලින්දයක්‌ වෙතට ය. එහි යමක්‌ මසමින් සිටින වයසක ස්‌ත්‍රියකි. වේදිකාව නිහඬතාවක ගිලී පවතී. ඈ ඉදිකටුවට නූල දැමීමට ආයාස දරන්නීය. ස්‌වාමි පුරුෂයාගේ පැමිණීම සිදුවන්නේ සුළු මොහොතකට පසුව ය. ඇගේ මැසීමේ වෑයම අන්තර්ජාතික මැහුම් තරගාවලියක්‌ අරමුණු කොට සිදුවන්නක්‌ බව ඉඟි කරන්නේ ඔහු ය. ඔවුන්ගේ වයස්‌ගත ප්‍රේමයේ සංවාදය ඇරැඹෙන්නේ එතැන්පටන් ය. එහෙත් වේදිකාව නිහඬ ය. සමස්‌ත නාට්‍ය පුරා ම එකදු දෙබසක්‌ හෝ භාවිත වන්නේ නැත. වේදිකාව මත වචන දිග හැරුම ඉල්ලා සිටින ප්‍රේක්‌ෂකයන් ද නිහඬ ය. ඔවුන් සිය ශරීර භාෂාව, සංගීතය හා සංඥාර්ථ මගින් අපට කියන්නේ නිර්වාග්මය කතාවක්‌ ය.

සිය එකම පිරිමි දරුවාට මව හා පියා අන්‍යයෝ වෙති. ඔහුට දෙමාපියන් (විශේෂයෙන් පියා) ආත්මීය වන්නේ තමා ද පියකු වූ පසුව ය. එවිට ඔහු සිය අතීත ජීවන රටාව හා අතීත පුත්‍ර භුමිකාව පිළිබඳ පසුතැවෙයි. මෙය චක්‍රයක්‌ සේ පරම්පරාගතව ක්‍රියාත්මක බව නාට්‍ය අවසානය අපට ඉඟි කරයි. මේ තේමාත්මක භාවිතය අපූර්ව නැත. විවිධ සාහිත්‍ය කලා ශානර තුළ මෙකී තේමාව මූලික කරගත් නිර්මාණ දැකගත හැකි වේ. කවිය එහිදී ප්‍රමුඛ ය. මා පූර්වයෙහි මේ ලිවීම කෙරෙහි තේමාත්මක අලෝලනයක්‌ නොවී යෑයි සඳහන් කළේ එබැවිනි. එහෙත් අර්ථ ඇත්තේ අන්තර්ගතයට පමණක්‌ නොවේ. යමක්‌ කියන ආකාරය නො එසේනම් විදිහට ද අර්ථයක්‌ ඇත. ආකෘතිය අන්තර්ගතය පෝෂණයෙහිලා තීරණාත්මක ය.

සමස්‌ත නාට්‍යය ඉදිරිපත් වන්නේ නිර්වාග්මය පඨිතයක්‌ ලෙස ය. මතුකැරෙන තේමාත්මක වරදකාරීත්වය වනාහී සියල්ලන්ට ම අඩු වැඩි වශයෙන් පවතින්නකි. මෙය එක්‌තරා ක්‍ෂිතිමය තත්ත්වයක්‌ ද වේ. සමාජ සංස්‌කෘතිය තුළ එම තත්ත්වය වචන බවට පෙරළෙනවාට වඩා සිදුවන්නේ පෞද්ගලිකත්වය තුළ ඝනීභූත වීමකි. නිර්වාග්මය විඳවීමක්‌ බවට පත්වීමකි. එබැවින් සමස්‌ත වියමන නිර්වාග්මය වීම ම අන්තර්ගතය කෙරෙහි සාධනීය බලපෑමක්‌ ඇති කරයි. වාග්මය අඳෝනාවකට වඩා නිර්වාග්මය පසුතැවීම ප්‍රේක්‍ෂකයන්ට ද වඩාත් වේදනාකාරී ය.

'ලව් ඇන්ඩ් ලයිෆ්' (Love & Life) යන නාමකරණය සමස්‌ත වියමන හකුළුවාලීමක්‌ බඳුය. සමරක්‌කොඩි සිය නිර්වාග්මය භාවිතාව මගින් ප්‍රේමය සහ ජීවිතය අතර පවත්නා අත්‍යන්ත බැඳීම මතුකරන්නේ සංස්‌කෘතිමය වහලෙක්‌ ලෙස නොව නිදහස්‌කාමී නිර්මාණකරුවෙකු ලෙසය. ඔහු අතීතය සහ වර්තමානය සම්බන්ධ කරමින් ප්‍රේමයේ සහ ජීවිතයේ විවිධ තලයන් වෙත ඔබමොබ සැරීම ආකෘතිමය නිර්මාණශීලිකමක්‌ මෙන් ම අන්තර්ගතය වෙත කැරෙන සාධනීය බලපෑමකි.

සමාජ සංස්‌කෘතික අවකාශය විසින් ලිංගිකත්වය කුහක ලෙස කුණුහරුපයක්‌ බවට ඌනනය කරනු ලැබ ඇත. එහෙත් එම ඊනියා සුචරිතවාදය මේ නාට්‍යමය පඨිතයට විෂය වන්නේ නැත. සමරක්‌කොඩි ප්‍රේමයේ කායික සුරතාන්තය වේදිකාව මතට ගෙන එන්නේ අඳුරක නොව හතර අතින් දැල්වුණු ආලෝකයක්‌ මැදය. පෙම්වතුන්ගේ හාදුවකින් පවා කුලප්පු වුණු ප්‍රේක්‍ෂකාගාරවල අත්දැකීම් මැද සමරක්‌කොඩි සිය භාවිතාව කලාත්මකව ප්‍රකාශනය කරයි. ප්‍රේක්‍ෂකාගාරය සිනහව තුළ ගිලෙනවා විනා කිසිදු ප්‍රතිවිරෝධයක්‌ මතුවන්නේ නැත. ඊට හේතුව වන්නේ ඔහු විසින් ආරම්භයේ පවත්වා ගත් නාට්‍ය රිද්මය ඛණ්‌ඩනය නො කොට එම සම්භෝගය මැදට සෙල්ලම් බඩුවක ශබ්දය මුසුකරනු ලැබීමයි. එවිට සිදුවන්නේ ඊනියා සුචරිතය හෝ සදාචාරමය කෝවක්‌ තුළට යැමට වඩා සිනහව තුළ ක්‍රියාව නො පෙනීයැමයි. නාට්‍ය ශානරය සතු අනුවර්තන විභවතාව මෙන් ම සිනහවෙහි ඇති උත්ප්‍රාසාත්මක දූරස්‌ථ කරන විභවතාව කදිමට මුසුවීමකි එය. එම සිනහව ප්‍රේක්‍ෂකාගාරය තුළ හා ඉන් පිටත වන කායික ආදරය පිළිබඳ වැඩවසම්, වික්‌ටෝරියානු සුචරිතවාදීන්ට කළ තියුණු සරදමකි. එමෙන්ම සිය නාට්‍ය පඨිතය තාක්‍ෂණිකව හා කල්පනාකාරිව මෙහෙයවා ගත් අවස්‌ථාවකි.

මෙහි වන චරිතවල මුහුණු ඒකාකෘතික ය. පූර්ව නිර්මිතයන් ය. කොටින් කෝලම් ඌරුව රැගත් වෙස්‌ මුහුණු ය. නාට්‍යයක වෙස්‌ මුහුණක්‌ භාවිත කිරීම විවිධ පරාස ඔස්‌සේ අර්ථකථනය කළ හැකි ය. විටෙක එය රංග උපක්‍රමයක්‌ ලෙස ද භාවිත වේ. මුහුණෙහි හැඟීම් ප්‍රකාශනය මේ භාවිතාව තුළ ගිලිහෙන බව සැබැවි. එහෙත් මෙම නිර්මාණය නිර්වාග්මය පඨිතයක්‌ වීමත් ආකෘතික තෙරපුමත් අතරට තථ්‍ය මුහුණ ස`ගවා ඊය තථ්‍ය යෑයි හැඟෙන බොරුවක්‌ ආදේශ කිරීම අභව්‍ය නො වේ. 'ලව් ඇන්ඩ් ලයිෆ්' සහ වෙස්‌ මුහුණු අතර සම්බන්ධය සාධනීය මෙන් ම කලාත්මක වූ ද එකකි. මෙහි ශිල්පීන් තිදෙනා මතට වෙස්‌ මුහුණු පැමිණීමත් සමඟ ඔවුන්ගේ ශරීර සතු තාරුණ්‍යය ප්‍රේක්‍ෂකයා කෙරෙන් දුරස්‌ වේ. විශේෂයෙන් පරම්පරාගත දුරස්‌ථභාවය මතුවීම කෙරෙහි මෙන් ම වේදිකාව මත ශිල්පියා සතු විය යුතු ශරීර රිද්මය සහ සුඛනම්‍යතාව හා චරිතය සතු විය යුතු වයස්‌ පරතරය අතර අන්තර් සම්බන්ධයක්‌ ලෙසින් ද මතු වේ. අත්ල සහ ඇඟිලි ද තථ්‍ය ස්‌වරූපයෙන් ම නො තැබුවානම් එය තවදුරටත් තීව්‍ර වීමට ඉඩ තිබිණි. උසස්‌ නාට්‍යයක මතු විය යුත්තේ ශිල්පියා නො ව චරිතය ය.

සරල පසුතලයක්‌ භාවිත කොට තිබුණු මෙහි රංග වස්‌ත්‍ර සහ ආලෝකය නව අර්ථ උද්දීපනයෙහිලා නැතත් උචිත ලෙස භාවිත කොට තිබිණි. වාග්මය හිඩැස්‌ පිරැවීම උදෙසා සංගීතය මනාව උපයෝගී කරගත් අවස්‌ථා කිහිපයක්‌ විය. එහෙත් රූපණයෙහි සමහර තැන් තවදුරටත් අවධානාත්මක මටසිලිටි භාවයක්‌ තිබිණි නම් කදිමැයි සිතුනු අවස්‌ථා ද නැතුවා නො වේ (මැසීමේ ක්‍රියාවලිය ඊට දෙස්‌ දෙයි). එමෙන් ම සමස්‌ත නාට්‍ය පුරා ඉතා ප්‍රබල අවකාශයකට කැඳවාගත හැකිව තිබූ සංකේතීය අවස්‌ථා තිබුණ ද ඒවාට පළල් අර්ථ මතුවීමට අවශ්‍ය ව්‍යqහයන් සකසා දී නො තිබිණි. සම්මාන හා රූප භාවිතය ඊට නිදසුන් ය. එහෙත් සමස්‌තයක්‌ ලෙස තේමාව ගොඩනැගීමෙහිලා තාක්‍ෂණික භාවිතාවන් උපයෝගී කැරගැනීමේ ශක්‍යතාව ද ශරීර භාෂාව හැසිරවීමේ දී ශිල්පීන් තිදෙනා නාට්‍ය රිද්මය අඛණ්‌ඩව රඳවමින් චරිත දහසයක්‌ නිරූපනය කිරිමේ දක්‍ෂතාව ද අගය කළ යුතු ම ය.

ඇය මසන්නේ අන්තර්ජාතික තරගයක්‌ උදෙසා ය. අකුරු ය. නැත ආදරය සහ ජීවිතය ය. ඈ ගොතන දහම එය ය. විශ්වීය චින්තනයක්‌ අහිමි සමාජයක ආත්මීයත්වය දුලබ ය. එහි අනෙකකු වීමේ ෙ€දය භයංකාර ය. එවන් සමාජයක හමුවන්නේ ගෙතීම් නොව බෙදීම් ය. එවන් පොළොවක ආදරය සහ ජීවිතය ගෙතීමේ හුය බොහෝ විරල ය.
 

 
Powered By - 

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.