Monday, April 10, 2017

නිර්වාග්මය වියමනක ආස්‌වාදය ලව් ඇන්ඩ් ලයිෆ්


නිර්වාග්මය වියමනක ආස්‌වාදය ලව් ඇන්ඩ් ලයිෆ්

නලීන් එන්. කාරියවසම්



සංඥාර්ථ ලෝකයේ කුඩා කොටසකි භාෂාව. එහි වචන සහ අර්ථ අතර ස්‌වභාවික සම්බන්ධයක්‌ නැත. වචන නිරන්තර අර්ථ උද්වීපනයෙහි ශක්‍යතාව ඇතිකරගෙන තිබෙන්නේ අර්ථ අතර සුළු හෝ වෙනසක්‌ පාදක කොටගෙනය. විටෙක අප භාෂාවේ සිරකරුවන් ය. භාෂාව උත්තම පරම පූජනීය වස්‌තුවක්‌ නොවේ. නො වෙනස්‌ වන සුළු ද නොවේ. සජීවි භාෂාව අත්‍යන්තයෙන් ගතික ය. අප කළ යුත්තේ එම ගතිකත්වය වටහා ගනිමින් භාෂාව නමැති මෙවලම මානව අභිවෘද්ධිය උදෙසා භාවිත කිරීමයි. ඕනෑම ජන සමාජයක දැනුම ප්‍රඥාව ගබඩා වී තිබෙන්නේ වචන කේන්ද්‍රගත කොටගෙන පමණක්‌ නො වේ. එය නිර්වාග්මය පඨිත ලෙස කොතෙකුත් ව්‍යqහගත වී ඇත. භාෂාව විසින් සත්‍ය ලෙස දැකිය යුතු දේ විකෘති කරනු ලබන බව ෙµඩ්රික්‌ නිෂ්ටේ වරෙක ප්‍රකාශ කළේ භාෂාව කෙරෙහි නැවත සිතා බැලීමට ඉඟි කරමිනි. එය එක්‌තරා පාරභාෂික ඉඟිකිරීමකි.

ඉහත පූර්විකාගත කිරීම මා විසින් කරන ලද්දේ පසුගිය දිනෙක ලද අපූර්ව නාට්‍යමය අත්දැකීමක්‌ වෙත එළැඹීමේ අදහසිනි. එය එස්‌. අයි. සමරක්‌කොඩිගේ 'ලව් ඇන්ඩ් ලයිෆ්' වේදිකා නාට්‍යය යි. මෙම රචනය කෙරෙහි මා ආලෝලනය කළේ එහි වූ තේමාත්මක මානයට වඩා ආකෘතිමය සහ උසස්‌ රංග තාක්‍ෂණික භාවිතාව යි. ඉන් අදහස්‌ වන්නේ නිර්මාණය තුළ වූ තේමාත්මක කතිකාව එතරම් වැදගත් නොවන බව නොවේ. යුග ත්‍රිත්වයක පිය පුතු සම්බන්ධය (ගැටුමක්‌ ලෙස ද අර්ථකථනය කළ හැකි ය) කේන්ද්‍ර කොටගනිමින් කුටුම්භගත සහසම්බන්ධය මෙන් ම ප්‍රේමයේ විවිධ අවස්‌ථා කරා ප්‍රේක්‍ෂක මනස ගෙන යාම ද අන්තර්ගතය තුළ ඉසියුම්ව සිදුවේ.

තිරය විවර වන්නේ නිවෙසක ආලින්දයක්‌ වෙතට ය. එහි යමක්‌ මසමින් සිටින වයසක ස්‌ත්‍රියකි. වේදිකාව නිහඬතාවක ගිලී පවතී. ඈ ඉදිකටුවට නූල දැමීමට ආයාස දරන්නීය. ස්‌වාමි පුරුෂයාගේ පැමිණීම සිදුවන්නේ සුළු මොහොතකට පසුව ය. ඇගේ මැසීමේ වෑයම අන්තර්ජාතික මැහුම් තරගාවලියක්‌ අරමුණු කොට සිදුවන්නක්‌ බව ඉඟි කරන්නේ ඔහු ය. ඔවුන්ගේ වයස්‌ගත ප්‍රේමයේ සංවාදය ඇරැඹෙන්නේ එතැන්පටන් ය. එහෙත් වේදිකාව නිහඬ ය. සමස්‌ත නාට්‍ය පුරා ම එකදු දෙබසක්‌ හෝ භාවිත වන්නේ නැත. වේදිකාව මත වචන දිග හැරුම ඉල්ලා සිටින ප්‍රේක්‌ෂකයන් ද නිහඬ ය. ඔවුන් සිය ශරීර භාෂාව, සංගීතය හා සංඥාර්ථ මගින් අපට කියන්නේ නිර්වාග්මය කතාවක්‌ ය.

සිය එකම පිරිමි දරුවාට මව හා පියා අන්‍යයෝ වෙති. ඔහුට දෙමාපියන් (විශේෂයෙන් පියා) ආත්මීය වන්නේ තමා ද පියකු වූ පසුව ය. එවිට ඔහු සිය අතීත ජීවන රටාව හා අතීත පුත්‍ර භුමිකාව පිළිබඳ පසුතැවෙයි. මෙය චක්‍රයක්‌ සේ පරම්පරාගතව ක්‍රියාත්මක බව නාට්‍ය අවසානය අපට ඉඟි කරයි. මේ තේමාත්මක භාවිතය අපූර්ව නැත. විවිධ සාහිත්‍ය කලා ශානර තුළ මෙකී තේමාව මූලික කරගත් නිර්මාණ දැකගත හැකි වේ. කවිය එහිදී ප්‍රමුඛ ය. මා පූර්වයෙහි මේ ලිවීම කෙරෙහි තේමාත්මක අලෝලනයක්‌ නොවී යෑයි සඳහන් කළේ එබැවිනි. එහෙත් අර්ථ ඇත්තේ අන්තර්ගතයට පමණක්‌ නොවේ. යමක්‌ කියන ආකාරය නො එසේනම් විදිහට ද අර්ථයක්‌ ඇත. ආකෘතිය අන්තර්ගතය පෝෂණයෙහිලා තීරණාත්මක ය.

සමස්‌ත නාට්‍යය ඉදිරිපත් වන්නේ නිර්වාග්මය පඨිතයක්‌ ලෙස ය. මතුකැරෙන තේමාත්මක වරදකාරීත්වය වනාහී සියල්ලන්ට ම අඩු වැඩි වශයෙන් පවතින්නකි. මෙය එක්‌තරා ක්‍ෂිතිමය තත්ත්වයක්‌ ද වේ. සමාජ සංස්‌කෘතිය තුළ එම තත්ත්වය වචන බවට පෙරළෙනවාට වඩා සිදුවන්නේ පෞද්ගලිකත්වය තුළ ඝනීභූත වීමකි. නිර්වාග්මය විඳවීමක්‌ බවට පත්වීමකි. එබැවින් සමස්‌ත වියමන නිර්වාග්මය වීම ම අන්තර්ගතය කෙරෙහි සාධනීය බලපෑමක්‌ ඇති කරයි. වාග්මය අඳෝනාවකට වඩා නිර්වාග්මය පසුතැවීම ප්‍රේක්‍ෂකයන්ට ද වඩාත් වේදනාකාරී ය.

'ලව් ඇන්ඩ් ලයිෆ්' (Love & Life) යන නාමකරණය සමස්‌ත වියමන හකුළුවාලීමක්‌ බඳුය. සමරක්‌කොඩි සිය නිර්වාග්මය භාවිතාව මගින් ප්‍රේමය සහ ජීවිතය අතර පවත්නා අත්‍යන්ත බැඳීම මතුකරන්නේ සංස්‌කෘතිමය වහලෙක්‌ ලෙස නොව නිදහස්‌කාමී නිර්මාණකරුවෙකු ලෙසය. ඔහු අතීතය සහ වර්තමානය සම්බන්ධ කරමින් ප්‍රේමයේ සහ ජීවිතයේ විවිධ තලයන් වෙත ඔබමොබ සැරීම ආකෘතිමය නිර්මාණශීලිකමක්‌ මෙන් ම අන්තර්ගතය වෙත කැරෙන සාධනීය බලපෑමකි.

සමාජ සංස්‌කෘතික අවකාශය විසින් ලිංගිකත්වය කුහක ලෙස කුණුහරුපයක්‌ බවට ඌනනය කරනු ලැබ ඇත. එහෙත් එම ඊනියා සුචරිතවාදය මේ නාට්‍යමය පඨිතයට විෂය වන්නේ නැත. සමරක්‌කොඩි ප්‍රේමයේ කායික සුරතාන්තය වේදිකාව මතට ගෙන එන්නේ අඳුරක නොව හතර අතින් දැල්වුණු ආලෝකයක්‌ මැදය. පෙම්වතුන්ගේ හාදුවකින් පවා කුලප්පු වුණු ප්‍රේක්‍ෂකාගාරවල අත්දැකීම් මැද සමරක්‌කොඩි සිය භාවිතාව කලාත්මකව ප්‍රකාශනය කරයි. ප්‍රේක්‍ෂකාගාරය සිනහව තුළ ගිලෙනවා විනා කිසිදු ප්‍රතිවිරෝධයක්‌ මතුවන්නේ නැත. ඊට හේතුව වන්නේ ඔහු විසින් ආරම්භයේ පවත්වා ගත් නාට්‍ය රිද්මය ඛණ්‌ඩනය නො කොට එම සම්භෝගය මැදට සෙල්ලම් බඩුවක ශබ්දය මුසුකරනු ලැබීමයි. එවිට සිදුවන්නේ ඊනියා සුචරිතය හෝ සදාචාරමය කෝවක්‌ තුළට යැමට වඩා සිනහව තුළ ක්‍රියාව නො පෙනීයැමයි. නාට්‍ය ශානරය සතු අනුවර්තන විභවතාව මෙන් ම සිනහවෙහි ඇති උත්ප්‍රාසාත්මක දූරස්‌ථ කරන විභවතාව කදිමට මුසුවීමකි එය. එම සිනහව ප්‍රේක්‍ෂකාගාරය තුළ හා ඉන් පිටත වන කායික ආදරය පිළිබඳ වැඩවසම්, වික්‌ටෝරියානු සුචරිතවාදීන්ට කළ තියුණු සරදමකි. එමෙන්ම සිය නාට්‍ය පඨිතය තාක්‍ෂණිකව හා කල්පනාකාරිව මෙහෙයවා ගත් අවස්‌ථාවකි.

මෙහි වන චරිතවල මුහුණු ඒකාකෘතික ය. පූර්ව නිර්මිතයන් ය. කොටින් කෝලම් ඌරුව රැගත් වෙස්‌ මුහුණු ය. නාට්‍යයක වෙස්‌ මුහුණක්‌ භාවිත කිරීම විවිධ පරාස ඔස්‌සේ අර්ථකථනය කළ හැකි ය. විටෙක එය රංග උපක්‍රමයක්‌ ලෙස ද භාවිත වේ. මුහුණෙහි හැඟීම් ප්‍රකාශනය මේ භාවිතාව තුළ ගිලිහෙන බව සැබැවි. එහෙත් මෙම නිර්මාණය නිර්වාග්මය පඨිතයක්‌ වීමත් ආකෘතික තෙරපුමත් අතරට තථ්‍ය මුහුණ ස`ගවා ඊය තථ්‍ය යෑයි හැඟෙන බොරුවක්‌ ආදේශ කිරීම අභව්‍ය නො වේ. 'ලව් ඇන්ඩ් ලයිෆ්' සහ වෙස්‌ මුහුණු අතර සම්බන්ධය සාධනීය මෙන් ම කලාත්මක වූ ද එකකි. මෙහි ශිල්පීන් තිදෙනා මතට වෙස්‌ මුහුණු පැමිණීමත් සමඟ ඔවුන්ගේ ශරීර සතු තාරුණ්‍යය ප්‍රේක්‍ෂකයා කෙරෙන් දුරස්‌ වේ. විශේෂයෙන් පරම්පරාගත දුරස්‌ථභාවය මතුවීම කෙරෙහි මෙන් ම වේදිකාව මත ශිල්පියා සතු විය යුතු ශරීර රිද්මය සහ සුඛනම්‍යතාව හා චරිතය සතු විය යුතු වයස්‌ පරතරය අතර අන්තර් සම්බන්ධයක්‌ ලෙසින් ද මතු වේ. අත්ල සහ ඇඟිලි ද තථ්‍ය ස්‌වරූපයෙන් ම නො තැබුවානම් එය තවදුරටත් තීව්‍ර වීමට ඉඩ තිබිණි. උසස්‌ නාට්‍යයක මතු විය යුත්තේ ශිල්පියා නො ව චරිතය ය.

සරල පසුතලයක්‌ භාවිත කොට තිබුණු මෙහි රංග වස්‌ත්‍ර සහ ආලෝකය නව අර්ථ උද්දීපනයෙහිලා නැතත් උචිත ලෙස භාවිත කොට තිබිණි. වාග්මය හිඩැස්‌ පිරැවීම උදෙසා සංගීතය මනාව උපයෝගී කරගත් අවස්‌ථා කිහිපයක්‌ විය. එහෙත් රූපණයෙහි සමහර තැන් තවදුරටත් අවධානාත්මක මටසිලිටි භාවයක්‌ තිබිණි නම් කදිමැයි සිතුනු අවස්‌ථා ද නැතුවා නො වේ (මැසීමේ ක්‍රියාවලිය ඊට දෙස්‌ දෙයි). එමෙන් ම සමස්‌ත නාට්‍ය පුරා ඉතා ප්‍රබල අවකාශයකට කැඳවාගත හැකිව තිබූ සංකේතීය අවස්‌ථා තිබුණ ද ඒවාට පළල් අර්ථ මතුවීමට අවශ්‍ය ව්‍යqහයන් සකසා දී නො තිබිණි. සම්මාන හා රූප භාවිතය ඊට නිදසුන් ය. එහෙත් සමස්‌තයක්‌ ලෙස තේමාව ගොඩනැගීමෙහිලා තාක්‍ෂණික භාවිතාවන් උපයෝගී කැරගැනීමේ ශක්‍යතාව ද ශරීර භාෂාව හැසිරවීමේ දී ශිල්පීන් තිදෙනා නාට්‍ය රිද්මය අඛණ්‌ඩව රඳවමින් චරිත දහසයක්‌ නිරූපනය කිරිමේ දක්‍ෂතාව ද අගය කළ යුතු ම ය.

ඇය මසන්නේ අන්තර්ජාතික තරගයක්‌ උදෙසා ය. අකුරු ය. නැත ආදරය සහ ජීවිතය ය. ඈ ගොතන දහම එය ය. විශ්වීය චින්තනයක්‌ අහිමි සමාජයක ආත්මීයත්වය දුලබ ය. එහි අනෙකකු වීමේ ෙ€දය භයංකාර ය. එවන් සමාජයක හමුවන්නේ ගෙතීම් නොව බෙදීම් ය. එවන් පොළොවක ආදරය සහ ජීවිතය ගෙතීමේ හුය බොහෝ විරල ය.
 

 
Powered By - 

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.